Saturday, March 31, 2012

පරාජිත බව සහ අසරණ බව!


ගොඩ කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන හින්දා මට හිතුනා පහුගිය දවස ටිකේ මම මුහුණ දීපු අත්දැකීම් කිහිපයක් ඔයාල එක්ක බෙදා හදා ගන්න. මෙතන පළමුවෙනි කතාව තමයි මම ජීවිතයේ මුහුණ දුන්න අවාසනාවන්තම සහ ජීවිතයට මාර අසරණ කමක් එකතුකරපු සිදුවීම. 

ඇය අවරුදු 27ක මුස්ලිම් යුවතියක්, අපේ රෝහලට ආවේ වකුගඩු හා සම්බන්ද රෝගී තත්වයක් හදුනාගන්න (Diagnose කරන්න),  තරමක් අසාමාන්‍ය තත්වයක්, ඇය මගේ රෝගියෙක් වුනා වගේම මගේ සම වයස් නිසා මගේ මිතුරියක්‌ බවට පත් උනා, මුස්ලිම් වුවද ඇය සිංහල පිරිමියෙක් සමග කතා කරන්න චකිතයක් දැක්වූයේ නැහැ, ඒ රෝගය හදුනා ගන්න රුධිර පරීක්ෂණ කිහිපයක්, වකුගඩුවේ බයොප්සි එකක් වගේ පරීක්ෂණ කිහිපයක් කරගතයුතුව තිබුනා, කාලය කෙමෙන් කෙමෙන් සතියක් පමණ ගත වුනා, පරීක්ෂණ එකින් එක කරගෙන යද්දී ඇගේ රෝගය ගැන යමකිසි අවබෝධයක් ගන්න පුළුවන් උනත්, රෝගය නිශ්චිතවම හදුනා ගන්න හැකි උනේ නැහැ. දවසක් උදේ ඇය කිව්වා මගේ ඇගට වෙනසක් තේරෙනවා කියල, එවිට අපි ඇයව පරීක්ෂා කරලා, ඇවිල්ල තිබුණු රිධිර පරීක්ෂණවල ලොකු අමුත්තක් නොතිබුන හින්දා ඇයට වේදනාව අඩුවෙන්න බෙහෙත් දුන්න, මොකද ඇයව පසු දවසේ වකුගඩු බයොප්සි එකට ගන්න හිටියේ, හවස 5.30 විතර වෙන විට ඇයගේ අම්මා දුවගෙන ඇවිල්ල කිව්වා දුවට හොද නැහැ කියලා, ඊට පස්සේ අපේ වෛද්‍ය වරු සහ අපි ගිහිල්ල ඇයව පරීක්ෂා කරද්දී, ඇය හොදින් පිළිතුරු දෙමින් සිටියා, ඉන් පසුව ඇයගේ නාඩි පරීක්ෂා කිරීමේදී නාඩි නොදැනෙන තරමට දුර්වලයි, පරීක්ෂා කල වෛද්‍යවරයා හැකි ඉක්මනින් ඇගේ රුධිර පීඩනය පරීක්ෂා කරා, රුධිර පීඩනය මැනිය නොහැකී වුනා, මෙය කම්පනය (shock) කියා හදුන්වන තත්වයයි, ඉක්මනින්ම කල යුත්තේ නහරක් ඔස්සේ ඇයට තරල සහ බෙහෙත් ලබා දීමයි, නමුත් මේ වෙලාව වන විට ඇයගේ සියලුම නහර හැකිලිලා (collapse), අපිට කැනියුලාවක් ඇතුල් කර ගන්න ගොඩ වෙලාවක් ගත උනා, ඉන පසුව 6 වන විට ඇය සිහිය නැති තත්වයට පත් වුනා (arrest), ඇයගේ හදවත ක්‍රමයෙන් ක්‍රමයෙන් දුර්වල වෙනවා දර්ශක වල සටහන් වුනා, අපි හාර්ට් මසාජ් හෙවත් cardio-pulmonary resuscitation පටන් ගත්තත් 7 වන විට ඇය මෙලොව හැර ගියා, නමුත් අද වෙන තුරු අපිට  arrest වෙන්නට හේතුවක් සොයා ගැනීමට නොහැකි වුනා, ඔවුන් මුස්ලිම් නිසා මරණ පරීක්ෂණයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කලා. පැය දෙකකට කලින් කතාකරමින් ඇවිද්ද යුවතිය, ප්‍රාණය රහිත දෙයක් බවට පත් උනා.

 කොහොම වුනත් ඒ සිදුවීම මගේ සිතේ ලොකු තුවාලයක් ඇති කළා, වෙලාවකට අපි හරි අසරණයි, අපේ ඉදිරියේ අපේ හිතවතෙක් මියයනවා, නමුත් ඇයට ජීවිතය දෙන්න කරන උත්සාහයන් සියල්ලම අපතේ යනවිට දැනෙන හැගීම විස්තර කරන්න අමාරුයි, මම ඒ යුවතිය ගැන මීට ඉස්සල්ලත් පොස්ට් එකක් දැම්ම, නූතන විද්‍යාව සියල්ල දැන ගැනීමට තරම් තියුණු නැති අතර, වෛද්‍යවරු යනු ගල් නොවන බවත් කිව යුතුයි, මොකද එහෙම කියන්නේ, අවසානයේ ඇයගේ පව්ලේ අය අපිට චෝදනා කරන්න ගත්ත සතියක් ඉදලත් මැරෙනකන්ම මොනවත් කරන්න බැරි උනාද කියලා, කියන්න තියෙන්නේ අපිටත් හරි කනගාටුයි, අපි අපේ සීමාවේ කල හැකි සියල්ල කළා, අපි අමනුස්සයන් නෙවෙයි, අපිටත් හැගීම් තියනවා, අපිටත් දරාගන්න බැරි කනගාටුවක් සහ පරාජිත බවක් දැනෙනවා මේවගේ අවස්ථාවල. ජීවිතයේ කිසිම විටක මට ඇයව අමතක නොවේවි, ඇය එතරම්ම සමීප මිතුරියක්‌ වුනා, කොහොම වුනත් මම ජීවිතයේ වඩාත්ම අසරණ වුනු අවථාව තමයි ඒක, නැවත දින කිහිපයක් යනකම් හිත එකග කරගන්න අමාරු උනා, ඇය වෙනුවෙන් යමක් කල යුතුව තිබුනා කියා හැම විටම හිතෙන්නේ මොකද කියා මට හිතාගන්න අමාරුයි!

දෙවැනි සිදුවීම රෝගියෙක්, ඔහු මෙතනොල් අඩංගු වසක් පානය කර සිහිනැතිව රෝහලට ඇතුලත් කල පුද්ගලයෙක්, ඔහුගේ හදවත ක්‍රමයෙන් අක්‍රීය වන නිසා අපි හාර්ට් මසාජ් හෙවත් cardio-pulmonary resuscitation පටන් අරගෙන පැයක් පමණ ගතවන විට ඔහුගේ හදවත යතා තත්වයට පත් වූවත් ඔහුට නැවත සිහිය ලැබෙන තුරු කෘතීම ස්වසනය ලබා දිය යුතුව තිබුනා, මෙය සාමන්යෙන් සිදු කරන්නේ ICU එකේ ඉලෙක්ට්‍රොනික උපකාර මගින්, නමුත් අවාසනාවකට කිසිම ICU ඇදක් අපේ රෝහලේ හෝ අවට රෝහල්වල ඉඩ තිබුනේ නැහැ, ඒ හින්දා අපි manually ස්වසනය දෙන්න ගත්තා. එය ඉතාමත් වෙහෙසදෙන කටයුත්තක්, අපි පුරා දවස් 2ක් පමණ ස්වසනය ලබා දුන්න, මෙහිදී කියන්න ඕනේ එම රෝගියාගේ පුතා ඉතාමත් කැපවීමෙන් පැය ගණනක් අපට සහය උනා, ඔහුට නොසෑහෙන්න ස්තූති කල යුතුයි. කෙසේ නමුත් සතියකින් පස්සේ ලෙඩා ප්‍රකුර්ති තත්වයට පත් උනා, ඊට පස්සේ යන්නේ ඔහු සමග ඇති උන සංවාදයක්,

"කොහොමද  නිමල් දැන්"

"මහත්තයල ඔබල ඔබල මගේ ඉල ඇට කඩලා දැන් එව්වා ඔක්කොම රිදෙනවා!"

"හඃ! වෙන අමාරු නැද්ද?"

"මහත්තයල බටයක් දාල තිබ්බ හින්දා මට හුස්ම ගන්නත් අමාරු උනා"

""හඃ! හඃ! ඔයාගේ පුතා අපිට ගොඩක් උදව් උනා අපිට ඔයාව බෙර ගන්න"

"මම ළමයි හදල තියෙන්නේ ඒවාට තමයි!"

ඉතින්  තවත් කුමන කතාද, "හොදයි නිමල් අද ගෙදර යන්න පුලුව!"

ප:ලි - ජීවිතයේ ප්‍රථමවරට නහයෙන් දැමු බටයකින් මිනිහෙකුට අරක්කු පොවනවා දැක්කේ මේ ලෙඩාට තමයි, එමොකද මෙතනොල් වල ක්‍රියා කාරිත්වය අඩු කරන්න එතනෝල් පොවන්න සිදුවුනා.